Wednesday, June 26, 2013

හරිත දෑත්




 සුරොව් හඳුනා ගැනීමට නොහැකි වීම ගැන මට කනගා‍ටුවක් දැනෙනුයේ ඔහු හා ඇසුරක් ඇති කර ගැනීමට මින්පසු කෙදිනක හෝ ඉඩක් නොලැබෙන නිසාය.මට මතක හැටියට ඔහු අවබෝධ කර ගත හැකි වුවත්      සංවාදයේ යෙදීමට තරම්  ඉංගිරිසි දැනුමක් නොතිබුනු  කුඩා නිහඬ මිනිසෙකි.ඔහුගේම මිතුරන්ට වුවද ඔහු තරමක ප්‍රහේලිකාවක් විය. මම සියොල්කොව්ස්කි  යානාවට ගොඩ බට හැමවිටමකිසිවෙකුට තම පෞද්ගලිකත්වය ‍රැක ගැනීමට අපහසු  අභ්‍යවකාශ   යානයක් තුල පවා තම සටහන් පිරික්සමින් හෝ අන්වීක්ෂයකට එබෙමින් තමාගේම ලෝකයක ගොනු වී සිටින ඔහු දැකගත හැකි විය.    

                                   ඔහු සමග වැඩ කල සෙස්සෝ එය එතරම් අරුමයක් ලෙස නොසැලකූහ.නමුත් ඔවුන් ඔහු සමගකතා කල ස්වරයේ එක්තරා ලබැඳියාවක් හා ගරුත්වයක් තිබිණි.
     එය එතරම් පුදුමයට  කරුණක් නොවූයේ, උත්තර ධ්‍රැවයේ ඉවසිය නොහැකි, ක‍ටුක, සීතල පරිසරයකට පවා ඔරොත්තු දිය හැකි පැලෑටි හා ශාක වගා කිරීමෙන්,රුසියාවේ ඉතාමත් පරසිඳු ශාක  විද්‍යාඥයා වීමේ භාග්‍යය ඔහුට ලැබීමයි. රුසියානු ගවේශණ කන්ඩායම හඳට  ශාක  විද්‍යාඥකු ගෙනයාම අවශේෂ    විද්‍යාඥයින්ගේ සිනහවට කරුනක් වී තිබුනත් එය ඇමෙරිකන් හා  බ්‍රිතාන්‍ය යානාවල ජීව  විද්‍යාඥයින් සිටිනවාට වඩා වෙනසක් නොවීය.   ප්‍රථම සඳ තරණයට වසර ගනනාවකට පෙර සිටම ගොනු කර ගත් සාධක අනුව (ජලය හා වාතය රහිත වුවත්, සඳේ යම් අන්දමක ශාකමය ජීවයක් ඇති බවට බොහෝ සාධක විය.) ඇමෙරිකා එක්සත් ජනපද විද්යා ඇකඩමියේ සභාපති මේ බව තරයේ විශ්වාස කල කෙනෙකි.ඔහුගේ වයස සඳ තරණයට  බාධාවක් වූ නිසා ඔහු ඊලඟට කල හැකි හොඳම දේ කලේය.ඒ අනුව රුසියන් ගවේශණයට සුරොව් ගේ නමද එක් කෙරිනි.


                  අපේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ජීවී හෝ අඩුම වශයෙන් පොසිල වශයෙන් වත් කිසිම ශාක ප්‍රභේදයක් සඳ තලයේ සැතපුම් දහස් ගනනක් පීරා කළ ගවේශණ වලින් වත් අපට සොයා ගත නොහැකි විය. සඳේ කිසිම  අන්දමක ජීවයක් නොමැති බවට තරයේ ඇදහූ අය පවා ඔවුන් වැරදි යයි ඔප්පු කරනු ලැබීමට සතුටින් සිටියහ.  පස් වසරකට පසුමහා එරටොස්තීනස් තැන්නේ දී  රිචර්ඩ්ස් හා ෂැනොන් කල පුදුමාකාර සොයාගැනීම නිසා පසුව ඒ සියල්ල වෙනස් වුවත්, ප්‍රථම චන්ද්‍ර ගවේශණයේදී සුරොව් ගේ සඳට පැමිනීම නිශ්පල එකක් ලෙස හැමෝම සැලකූහ.

                                               සුරොව් බලාපොරොත්තු කඩ වූ බවක් පෙන්වූයේ නැත.තමාගේ අනෙක් සගයින් විවිධාකාර කටයුතු වල යෙදෙන අතරවාරයේ ඔහු පස් සාම්පල් පිරික්සමින්ද පීඩනයට බඳුන් කල විනිවිද පෙනෙන වීදුරු නල වූ ශාක ගොවිපල ‍රැක බලා ගැනීමටද තම කාලය යෙදවීය.( එම වීදුරු නල පෙනුනේ සියොල්කොව්ස්කි යානය පුරා විහිදි ජාල පද්ධතියක් සේය.) 
       අප හෝ ඇමෙරිකානුවන් අපේ ආහාර අපම වගා කිරීමේ කාර්යයට අත නොගැසුවේ පෘතුවියෙන් ආහාර ගෙන්වා ගැනීම මෙහි වගා කිරීමට වඩා වාසිදායක බැව් අප සිතූ නිසාය. අඩුම තරමේ සඳේ ස්ථීර වාසස්ථාන  ඉදිකිරීමේ අවස්ථාව  එලඹෙන තුරුවත් ඉවසීම සුදුසු බව අපේ විශ්වාසය විය.ආර්ථික වශයෙන් ඒ තීරණය නිවැරදි වුනත් එහි වරදක් මම දැක්කෙමි.නෙත් පොවන මානයේ දිස්වන අනන්ත අප්‍රමාණ හුදකලාවෙන් හෙම්බත් වූ අපේ නෙතට, වාතහාර පුංචි හරිතාගාර  තුල මැවූ සුරොව් ගේ කුරුමිටි එලවලු පැල හා පලතුරු ගස් රසඳුනක් බඳු විය.
                                      යානාවේ අණදෙන නිලධාරියා වශයෙන් මට වූ වඩාත්ම අවාසිය නම් පුලුල් චන්ද්‍ර ගවේශණයේ ලා මා ලද ඉඩකඩ ඉතාමත් සීමිත වීමයි.
         
මගේ කාලය, පෘථිවිය වෙත එවිය යුතු වාර්ථා සකසමින්ද, දිනපතා කඩිනමින් අවැසි දේ පිරික්සමින්ද, වැඩ මුර හා වැඩ සටහන් සකසමින්ද, ඇමෙරිකානු හා රුසියනු යානාවල සිටි අය සමග අදහස් බෙදා හදා ගනිමින්ද, බොහෝ විට සාර්ථක වුවද ඕනෑම  මොහොතක පැමිණිය හැකි කුමන හෝ අකරතැබ්බයකට මුහුන දීමට සූදානමින් ද ගෙවුන නිසා සමහර අවස්ථාවක මට දෙතුන් දිනකින් පවා කඳවුරෙන් බැහැරව සිටීමට අවස්ථාවක් ලබාගත නොහැකි විය.එබැවින් අප කඳවුරේ සැම සිනහවට පත් කරමින් මගේ ගගන ගාමී ඇඳුම් කට්ටලය ‍තෝතැන්නක් වී තිබුනේ කාවන්ටය. 
                              
                                  මේ හේතුව නිසාම මා කඳවුරෙන් බැහැර වූ සෑම අවස්ථාවක් ම ඉතාමත්ම විචිත්‍ර ලෙස මගේ මතකයේ ‍රැඳී තියේ.එවැනි එක් අවස්ථාවකයි මට ප්‍රථම හා අවසන් වරට  සුරොව් මුණ ගැසුණේ.එය දකුනු දිග කඳු වැටියට ඉහලින් හිරු ‍රැස් වැ‍ටුන දවාළක් විය. නව පොළොව ළා පැහැ රිදී ඉරක් ලෙස ඊට අංශක කීපයක් එහායින් දර්ශනය වෙමින් තිබුණි. හෙන්ඩර්සන් හට චුම්බක දත්ත ලබා ගැනීම සඳහා අපේ කඳවුරෙන් සැතපුම් කීපයක් නැගෙනහිරට යාමට ඇවැසි විය.හැමෝම තම රාජකාරිවල නිරතව සිටි බැවින්ද, ඒ මොහොතේ මට වෙනත් විශේෂ කටයුත්තක් නොතිබූ බැවින් ද මම ඔහුගේ සහයට ගියෙමි.ඒ චාරිකාව ස්කූටරයක නැග යායුතු තරමේ දුරක පිහිටා නොතිබූ නිසා අප ගියේ පයින්ය. (ඇරත් ස්කූටරයේ බැටරි බලය  අඩු වෙමින් තිබූ නිසා ඉන්ධන පිරිමසා ගැනීම අවශ්්‍ය  විය.)

            කෙසේ වෙතත් සඳ මතුපිට ඇවිදීම සෑම විටම මා ඉතාමත් ප්‍රියකළ දෙයක් විය.එසේ වූයේ ඉතාමත් දර්ශනීය වුවත්, සමහර විට බොහෝ වරක් දැකිමෙන් ඇසට හුරු වන පරිසරය නිසා නොව, අභ්‍යවකාශ තරණයට පෙර මිනිසා සිහිනෙන් පමනක් දැන සිටි , මගේ දෙපා සඳ තලය මතින් මා ගෙනගිය විඩා රහිත මන්දගාමී, පියාසර කරන්නාක් බඳු ඇවිදීමේ රටාව නිසාය. 

                                                               
                             කෙසේ වෙතත් අප ආ කටයුතු නිමකර ආපසු කඳවුර බලා යමින් සිටියදී සැතපුමක් පමණ දකුනින්, රුසියන් කඳවූරට නුදුරින් මිනිස් රුවක් චලනය වනු දු‍ටුමි.ක්ෂේත්‍ර කන්නඩි මගේ හිස් පළඳනාවට සවි කරගෙන  ඔහු නිරීක්ශණය කළෙමි.
 ඇත්තෙන්ම, ඔබට, ලඟ සිටියත් ගගනගාමියෙකු ඔහුගේ ඇඳුමෙන් හඳුනා ගත නොහැක. නමුත් එය ගැටලුවක් නොවූයේ සැමට නියමිත වර්ණයක් හා අංකයක් තිබූ නිසාය.

     කවුද ඒ ? ”
  හෙන්ඩර්සන් ඔහුගේ කෙටි දුර රේඩියෝ යන්ත්‍රයෙන් මා ඇමතීය.

    " නිල්  ඇඳුම, නොම්මර තුන, ඒ සුරොව්. ඒත් මොකද එයා තනියම. "

    අපගේ චන්ද්‍ර ගවේශණයේ මූලික නීති රීති වලට අනුකූලව කිසිවෙකුට තනිව සඳ මතුපිට ඇවිදීම තහනම්ය.යමෙකුට, සගයෙකු සමග සිටියදී  ගනන් නොගන්නා තරම් සුලු වුනත්, තනිව සිටියදී මාරක  විය හැකි   විවිධ අන්දමේ අනතුරු වලට මුහුණ පැමට සිදුවිය හැක. 

 උදාහරණයක් ලෙස ඔබේ අභ්‍යවකාශ ඇඳුමේ පි‍ටුපස කාන්දුවීමක් සිදුවිය හොත් ඔබ තනිව එය අලුත් වැඩියා කර ගන්නේ කෙසේද ? මෙය විහිලුවක් සේ පෙනුනත් එවන් දෑ  සිදු වී තිබේ.

                  " සමහර විට ඔහුගේ සගයාට අනතුරක් ද දන්නෙ නෑ. අපි ගිහින් බලමුද ? "
      
 ඒ හෙන්ඩර්සන් ගේ කට හඬයි. මම හිස සොලවා එය ප්‍රතික්ශේප කළෙමි. සුරොව් ගේ කිසිම ඉක්මන්කමක් තිබුනේ නැත.

 ඔහු සඳ තලයේ සවාරියක් ගසා හිමින් සීරුවේ සියොල්කොව්ස්කි වෙත යන ගමනක් වගේ.ඔහුගේ අණ දෙන නිලධාරි, ක්‍රාස්නින්, තම මිනිසුන් සඳ මතුපිට තනියම ඇවිදීමට යවනවා නම් එය ඔහුට අයිති වැඩකි.

                            ඊලඟ මාස දෙක අතරතුර  මගේ සගයින් බොහොමයක් සුරොව්ගේ හුදකලා ගවේශණ දැක තිබිණ.නමුත් ඒ සැම අවස්ථාවකම ඔහු ඔවුන් මග ඇරීමට සමත් විය.

                              කාර්ය මණ්ඩලය අඩුකම නිසා රුසියන් අණ දෙන නිලධාරියාට ඔහුගේ සමහර නීති රීති ලිහිල් කිරීමට සිදු වී ඇතිබව  දැන ගතිමි.නමුත් මා මෙන්ම ඔහුගේ අණ දෙන නිලධාරියාද  සුරොව් ගේ හුදකලා ගමන් වල අරමුණ  හාන්කවිසියක් වත් නොදැන සිටි බව නොසිතුවෙමි.
                                         ක්‍රාස්නින් ගේ හදිසි උදව් ඉල්ලීමේ සංඥාව ලැබෙන විට මට ඒ සියල්ල සිහිපත් විය. කලින් අවස්ථාවලද  මෙසේ සමහරු විවිධ අනතුරු වලට මුහුණ පා තිබුනත් යමෙකු නැති වූ ප්‍රථම අවස්ථාව මෙයවිය.කඩිනම් ගුවන් විදුලි පණිවුඩ  හුවමාරුවකින් පසු සැම යානාවකින්ම සෙවීම් කණ්ඩායම් දියත් කෙරිණි.


                       නැවත වරක් මා වැ‍ටුනේ හෙන්ඩර්සන් සමගය. එබැවින් අපේ දෙපා පලමු වරට සුරොව් දු‍ටු ඉසව්වට ලඟා වීම නිරායාසයෙන්ම සිදුවිය.දුශ්කර වුවද, කඳු ගැට සහිත බිම් කඩ නගිමින්ද බසිමින්ද  ඔහු සොයන අතරතුරේ, මේ රුසියානුවා අප සැමට හොරා යමක නියැලෙමින් සිටි බව මට හැඟී ගියේය.එහෙත්, ඒ කුමක්ද කියා නිශ්චය කිරීමේ හෝඩුවාවක්  නැතිය.

           අවසානයේ, හෙන්ඩර්සන්ට ඔහු හමුවිය.හෙන්ඩර්සන් උදව් ඉල්ලා කෑ ගැසුවත්, ඒ වන විටත් ප්‍රමාද වැඩිය.

 සුරොව්, ඔහුගේ වායු විරහිත, පොඩිවුන ඇඳුමත් සමග, මුහුණ බිමට තද කරගෙන වැතිරී සිටියේය.

          ඔහු දණ ගසාගෙන යමක නියැලෙමින් සිටින විට වේගවත් යමක් ඔහුගේ හිස් ආවරණයේ  ප්ලාස්ටික් වැස්ම කුඩු පට්ටම් කර තිබිණ.ඔහුට අත්වී තිබුනේ ක්ෂණික මරණයකි! 

                   අණ දෙන නිලධාරී ක්‍රාස්නින් අප වෙත් ලඟා වන විටත්, සුරොව් මරුමුව දකින විට  ඔහු පිරික්සමින් සිටි දේ වෙත අප නෙත් හෙලමින්  සිටියෙමු. 

        එය අඩි තුනක් පමණ උස් වූ,  කොල පැහැති, මැලවුන,පුලුල්ව විහිදුන  සිහින් පහුරු ජාලකයකින්  පාශාණ පෘශ්ඨය තදින් අල්ලාගත්, ඔව්- අල්ලාගත්: මක්නිසාද එය පැලෑටියකි. 
         ඊට යාර කීපයක් එහායින් නිසැකවම ඒ හා සමාන මැලවුන කුඩා පැල දෙකක් විය. ඒවා කලු ගැසී, පරවී තිබිණ.මවිතයෙන් මගේ මුව විවර විය. 

                " එහෙනම් සඳේ ජීවය තියෙනවා." 


            ක්‍රාස්නින් ගේ කටහඬ මා සවන් පතිත වන තෙක්ම සත්්‍යය ඊටත් වඩා කොපමණ විශ්මයජනක දැයි මට නොහැඟිණි. 



                     " පව්. ව්ලැඩිමීර්.  අප දැනගෙන හිටියා ඔහු දක්ෂයෙකු බව. නමුත්, අප ඔහුට හිනා වුනා ඔහුගේ අරමුණ අප සමග කී විට. අනේ පව්. දුප්පතා. ඒ නිසා ඔහු තමාගේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම රහසක්ව තියා ගත්තා.ඔහු උත්තර ධ්‍රැවයේ තිරිඟු වැවීමට සමත් වුනත් එය ආරම්බය පමණයි.ඔහු තමයි මුලින්ම  සඳට ජීවය ගෙනාවේ. ඒ වගේම මරණයත්."

     ඔහුගේ සටහන් සියලු දේ එලිදරව් කර තිබිණි.වසර ගනනාවක් කළ පර්යේශණ දාමයක ප්‍රථිපලයක් ලෙස රික්තකයක විසිය හැකි සේ සැකසුණ පිට පොත්තක් සහිත ශාකයක් අභිජනනය කිරිමට ඔහු සමත් වූ අතර එහි දුරට විහිදෙන, අම්ල ශ්‍රාවයික මුල්, ලයිකන පවා වැඩීමට අපහසු පාෂාණ මත  ජීවත් වීමේ හැකියාවක් ලබා දුන්නේය.එහි ප්‍රතිඵලයක් ලෙස අප දු‍ටු ශාකය- එනම් සුරොව් ගේ සිහිනය උපත ලැබීය. 
                  ඔහුගේ නම දැරූ පතොකය දැනට චන්ද්‍ර පාශාණ ස්ථරයේ සෑහෙන ව්‍යාප්තියක්  සඳහා තැබූ මූලික පියවරක් විය.ක්‍රාස්නින් නැඹුරුව ඔහුගේ සගයාගේ නිසල දේහය ආයාසයකින් තොරවම දෑතට ගත්තේය.කුඩා කැබිලිති වලට කැඩුන ප්ලාස්ටික් හිස් වැසුම අත ගෑ ඔහු අවුල් සහගතව හිස සැලීය.

        " එයාට මොකද වුනේ ? ඒක හරියට පැලෑටිය එයාව මැරුවා වගෙයි. නමුත් එහෙම හිතන එකත් විහිලුවක්. "    


                                  කොල පැහැති විශ්මයජනක ප්‍රහේළිකාව, තව දුරටත්
 මුඩුබිමක් නොවුන තැනිතලාවේ අභිරහස්‍යමය බලාපොරොත්තුවලින් අප උමතුවට පත්කරමින් නැගී සිටියේය.මඳ වේලාවකින් පසුව තමාටම කියා ගන්නාක් බඳු හඬකින් හෙන්ඩර්සන් දොඩමලු විය.

                                " මට හිතෙන්නෙ මට උත්තරේ ලැබුනා කියල. මම ඉස්සර ඉගෙනගත්තු බොට්නි පාඩමක් මතක් වුනා.සුරොව් මේ පැලෑටිය නිර්මාණය කලේ සඳේ පරිසරයට අනුකූළව නම් පැලෑටියේ බෝවීම කුමන ආකාරයට වනවාද කියා ඔහු දැන සිටිය යුතුයි.පැලෑටිය සාර්ථකව වැඩීමට නම් එහි ඇට මව් ශාකයේ සිට සෑහෙන දුරකට විහිදී නව ශාකයක් බිහි කිරීමට සුදුසු පරිසරයක් සොයා ගත් යුතුයි." 

        "මෙහි, පොළොවේ සිදුවන ලෙස  බීජ වාහකයින් ලෙස ක්‍රියා කිරීමට සතුන් හෝ කුරුල්ලන් නෑ. මට හිතාගන්න පුලුවන් එක් ක්‍රමයක් පමනයි.දැනටමත් අපේ පොලොවේ වැඩෙන සමහර පැලෑටි ඒ ක්‍රමය භාවිතා  කරනවා. "

                        ඔහුගේ පැහැදිලි කිරීම මගේ බෙරිහන් දීම නිසා යටපත් විය. ඉතා වේගයෙන් ආ යමක් මගේ ලෝහමය ඉණ පටියේ ගැටී පරිසරය දෙදරවන හඬක් නිකුත් කළේය. මට හානියක් නොවුනත්, බලාපොරොතු නොවූ අවස්ථාවක වූ ඒ සිදුවීම, මා ගල් ගැස්සවීමට සමත් විය.මගේ පා මුල මිදි ඇටයක හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් කුඩා ඇටයක් වැටී තිබිණ.ඊට යාර කීපයක් එහායින් සුරොව් ගේ හිස් වැස්ම සිදුරු කල ඒ හා සමාන වූ අනෙක් බීජයද අපි සොයා ගතිමු.  පැළෑටියේ බීජ පරිණත වී ඇති බව ඔහු දැන සිටි නමුත්, ප්‍රීතියෙන් කුල්මත් වී සිටි ඔහු ඉන් අදහස් වන්නේ කුමක්ද කියා සිතුවේ නැත. පතොක් ශාකයක්, සඳේ අඩු ගුරුත්ව බලය යටතේ එහි බීජ සැතපුම් කාලක් පමණ දුරට විදිනවා මම දැක ඇත්තෙමි. 





            සුරොව්ටද සිදු වී තිබුනේ එයයි. ඔහුගේම විස්මයජනක නිපයුම වෙඩිල්ලක් සේ වේගවත් බීජයකින් එහි මැවුම්කරු විනාශ මුඛයට යැවීමට සමත්ව තිබිණ. 
   ...................................................................................................


                  Arthur.C.Clarke ගේ Green Fingers නම් කෙටිකතාවේ පරිවර්තනයකි.


  පසු වදන :
     මම මේ කෙටිකතාව කියෙව්වේ දැනට වසර විස්සකට පමණ පෙර.එහි තිබූ රසවත් බව නිසාම මට මෙය සිංහලට පෙරලන්න ඕන වුනා. පරිවර්තනය කර මගේ ලඟම මිතුරියන් කීපදෙනෙකුට කියවීමට දුන්නා. හොඳයි කියා කීවත් ඔවුනට එය වැටහුනු   බවක් පෙනෙන්නට තිබුනේ නැ.  


 ඉන්පසු මා කාටවත් මෙය කියවීමට දුන්නේ නෑ. ඔබ සැම තමා මගේ මුල් පාඨකයො. ඔබේ අදහස් කියවීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔබට  ඇත්තටම දැනෙන දේ තමා  මට කෝටියක් තරම් වටින්නෙ.ඕනෑම අඩුපාඩුවක් ඇසීමට කැමතියි.  






                                      















        
   

Wednesday, June 5, 2013

හෙන්රියාටා නැන්දාගේ සුමිතුරු උඩවැඩියාව -(part 2)The orchid which befriended the aunt Henriyata




පලමුවන කොටසට මෙතනින් යන්න.
http://gimannivannie.blogspot.com/2013/05/orchid-which-befriended-aunt-henriyata.html

හර්කියුලිස් බිලි පිත්තක් අගට කුඩා මස් කැබලි කිහිපයක් ගැට ගසා  සතා ගේ අඬු කිට්‍ටුවට ඒවා ලං කරන්නේ,ඌ වියරුවෙන් මෙන් පහුරු දිගුකර ඒවා ඩැහැ ගැනීමට දරන අසාර්ථක ප්‍රයත්නය දෙස තෘප්තියෙන් නෙත් හෙලමිනි.

ඒ හා සමගම මාංශ භක්ෂකයා තම තියුනු ශබ්දයද පිට කරන්නේ සිරුරේ රෝම කෙලින් සිටින තරම් බියක් උපද්දමිනි.
               සැලසුම් කල ගොදුර පහසුවෙන් යටපත් කල හැකි ජවයක් සත්වයාට ඇති බව අවසන හර්කියුලිස් තීරනය කලේය.අනතුරුව ඔහු නැන්දාට වඩාත් කාරුනික වූ අතර ඇය පැමිනි විට තම මුලු අවධානයම ඇයගේ දුක සැප විචාරීම කෙරේ යොමු කළේය.

                   අයාලේ යන බල්ලන් හා බලලුන් යොදාගෙන 'පොඩි ට්‍රයල්' එකක් කිරීමට මුලදී සිතුනත්, ඒ අහිංසක සතුන් නිකරුණේ බිලි දීම තරම් නොවන බව ඔහු පසුව සිතීය.එබැවින් පළමු ගොදුර හෙන්රියාටා නැන්දාම විය යුතු බව ඔහු ශෝකයෙන් වුව තීරණය කළේය.

එයට පෙර මග සැළසීමක් ලෙස දෙසතියක් පුරා සත්වයාට නිරාහාරව සිටීමට සැළසීය. ඊටත් වඩා දින ගනනාවකට යාමට හර්කියුලිස් බිය වූයේ ඉන් ඌ අඩපණ විය හැකි බැවිනි.

     ඒ තීරණාත්මක සෙනසුරාදා දිනයේ, සිරිත් පරිදි තේ පානයෙන් පසු, ඔහු නැන්දා ඇමතීය.
                  "මට  නැන්දට පෙන්වන්න යමක් තියෙනවා." නැන්දා දැක්කොත් පුදුම වෙලා පණ යයි."

    ගේ පුරා කැරළි ගැසෙමින් ඉහලට නැගෙන දුම් රො‍ටු සහිත සුරුට්‍ටුව මුවෙන් ඉවතට  ගත් නැන්දා මොහොතක් ඔහු  දෙස විමතියෙන් බලා තම ගැඹුරු කට හඬ අවදි කලාය.
  "පුදුමෙනුත් පුදුමයි. තමුසෙ මොකක්ද කරන්න හදන වැඩේ?"

නැන්දා ඔලොක්කුවට  පිටට ගැසූ පහරින් ඔහුට හුස්ම නැතිවිය.

                නැන්ද විස්වාස කරන එකක් නැ."
              හුස්ම යථා තත්වයට පත්වූ වහාම හර්කියුලිස් පිළිතුරු දුන්නේය.
                 
     "ඒක තියෙනෙ hot house එකේ.
                                  "ආ!"  ඇගේ හඬේ අවිශ්වාසය ගැබ් වී තිබිණි.
       
   "අපි බලලම ඉමු නේද, නැන්දෙ?"

                            උපහාසය මුසු හඬක් උගුරෙන් පිට කළද, නැන්දා හර්කියුලිස් පසුපස ඇවිද ගියාය.

                            ගන ලොම්  පාපිස්ස, මුල්ලකින් විකමින් සිටි දඩ, alsatian  බල්ලෝ දෙදෙනාද නැන්දා පසුපස යාමට තැත් කලද, ඇය ඔවුනට අතින් සන් කල සැනින් ඊට කීකරු වුහ.

 "කොල්ලනේ, නැවතියල්ලා. මං ඉක්මනට එනවා."

          එය කිසිදා සිදු නොවන්නක් බව හර්කියුලිස්  සිතුවේය.

               ඒ අඳුරු සැඳෑවේ "hot house" එකේ විදුලි බුබුලු ද නිවා දමා තිබිණි.ඊට ඇතුල් වන විටම නැන්දා තම නාසය අකුලුවා ගත්තාය.
 "මගෙ දෙය්යනේ! මොකද්ද ඒ ගඳ?හරියට මස් මරන තැනක් වගේ."
               "සමාවෙන්න නැන්දේ."

හර්කියුලිස් එසේ කියමින්ම මඳ අඳුරේ, පය පැකිලෙමින් ඇවිදින නැන්දාගේ පිටට මුදුව අත තබා   මඳක් ඇය ඉදිරියට යොමු කළේය.
                        " මේ මම අලුතෙන් දාන පෝර  ජතියක්.ගඳ වුනාට පැළ හොඳට වැවෙනවා."

              "තව ටිකක් ඉස්සරහට යන්.ඔන්න ඔතන තියෙන්නෙ."

                 "මේ විහිලුවක් හෙම නෙමේ නේද?" ඇහිබැම හකුලා සැක සහිත ස්වරයකින් නැන්දා විචාලාය.
            "පිස්සුද? කොහෙත්ම නෑ."

හර්කියුලිස්  පිලිතුරු දුන්නේ ස්විචයට අත යවන ගමන්මය.තමාට හුරු පුරුදු හරිත ගෘහයේ, මඳ අඳුරේ වුව, නැන්දා සිටගෙන සිටිනුයේඅනතුරු කලාපයේ බව ඔහුට පෙනින.ඔහු වහා ස්විචය දැම්මේය.

                   ඇසිපිය ගසන නිමේශයකින් හරිත ගෘහය ආලෝකයන් පිරිණි. ඒ හා සමගම, අඬු විහිදා ගත් දැවැන්ත බූවල්ලකු සේ මිනිස් ජීවින් දෙදෙනා පරයමින් නැගී සිටින යෝධ උඩවැඩියාව, නැන්දා ගේ දෘශ්්‍ය පථය  වසා ගත්තේය.එක්වරම ඉදිරියට තැබූ පය ආපසු ගත් නැන්දා, මෙවන් තැනක කිසිසේත්ම දැකීමට අපේක්ශා නොකළ අපූර්ව ශාකය දෙස කුතුහලයෙන් හා විශ්මයෙන් පිරි බැල්මක් හෙලුවාය.

                                              සත්වයා ක්‍රියාත්මක වීමට පෙර නැන්දා අනතුරු කලාපයෙන් බැහැර වේදෝ යි හර්කියුලිස්ට මොහොතකට සැක සිතිණි. නමුත් ශාකය දෙස විපරමින් බලමින්එය කුමක් දැයි හඳුනා ගැනීමට උත්සාහ කරන නැන්දා දු‍ටු විට එය එසේ නොවන බැව් ඔහුට පසක් විය.

                             උඩවැඩියාව ද, නිසොල්මන්ව, තමා අසලට පැමිනි අනිත් සත්වයා නිරීක්ශනයේ යෙදුනේය.  හර්කියුලිස් ගේ හදවත, සුලු මොහොතකට නතර කරමින්, අපේක්ශාවෙන් සිටි ලෙසම, බිම වැදෙමින් තිබූ මාංශ භක්ශක අඬු හිමිහිට චලනය වීමට පටන් ගත්තේය.නමුත් ඒ නම් කොහෙත්ම හර්කියුලිස් බලාපොරොත්තු වූ ප්‍රතිචාරයක් නොවීය.

සත්වයා, වෙන් වෙන්ව වැඩුන, එකක් මිනිස් මාපටැඟිල්ලක් තරම් මහත් වූ, ගැට ගැසී ඇඹරුන, අඬු අටෙන් තම කඳ මුලුමනින් ඔතාගෙන වසා ගන්නා ගමන්, අසන්නට  දුඛිත වූ හඬකින්, මර බියෙන් කෑ ගැසීය.තමා ඉදිරිපිට පහළ වී ඇති තර්ජනය හමුවේ  ඊට කළ හැකි වූයේ එපමණකි.

                             "මොනවා!"
 මොහොතකින්, හර්කියුලිස් මෙතෙක් තමා ගිලී සිටි මායාවේ තරම වටහා ගත්තේය.


                            හැඩි දැඩි ලෙස වැඩී, දු‍ටුවන්බියට පත් කරවන ජීව ලක්ෂනවලින්  හෙබියත්, මේ ප්‍රාථමික සත්වයා ඉතාමත්ම බියසුලු විය. Amazan වනයේ  ඇති ඕනෑම ශාකයක් හා කරට කර සිට මෙල්ල කල හැකි වුවත්, හෙන්රියාටා නැන්දා වැනි තේජාන්විත ගැහැනියක ඉදිරියේ, නකුට පස්ස පැත්තේ ගසා ගත් බලු නකුටකු සේ කෙඳිරි ගාන උඩවැඩියාව, දකින්නට ලැජ්ජා හිතෙන තරමේ, නියාලු දසුනක් විය.

       

                   නැන්දා, මුව අයා, දොඹ ගෙඩි දෙකක් සේ විශාල කර ගත්  තම විස්මපත් දෑස් වලින්, විපිලිසරව සත්වයා දෙස මොහොතක් බලා සිටියාය. ඊලඟ මොහොතේ, නොසිතූ විරූ ලෙස, හර්කියුලිස්. දෙසට හැරී, තර්ජනාත්මක ඇඟිල්ලක් දිගු  කළාය.
                           " මේ අහිංසකයා හොඳටම බය වෙලා! තමුසෙමොකක්ද ඌට කලේ?"

  බයාදු ලෙස හිස පැත්තකට ඇල කරගෙන, ලැජ්ජාවෙන් හා අපේක්ෂා භංගත්වයෙන් සිටගෙන සිටිනවා ඇරෙන්නට, හර්කියුලිස් ට වෙන කළ හැක්කක් නොවීය.

        න්.......නෑ....ඈ......නැන්දේ! මං හිතන්නේ ඌ ටිකක් චකිතෙන් ඉන්නෙ!"


" මේ..මේ බොරු කියන්න එපා.  මොකද, මම සත්තු ගැන නොදන්න එකක්යැ? මේ ගැන මට කලින් කියන්න තිබුනනෙ, තෙපර බබා ඉන්නෙ නැතුව.අපි උන්ට කරුනාවෙන් සලකනව නම් කොයි සතාත් අපිට මෙල්ල වෙනව.හැබැයි ඉතින් ස්වාමියා කවුද කියලා දෙගොල්ලොම දැන ගන්න ඕනෑ."

       
                           නැන්දා හර්කියුලිස් දෙස රවා බැලුවාය.

                                  "බලනවා! ඌ බයේ කෑ ගහන හැටි! "

       " හා....  හා... බයවෙන්න එපා. බයවෙන්න එපා. මේ හෙන්රියාටා නැන්දා උඹට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ."

         හර්කියුලිස්ට  ඒ දසුන නම් ජීවිතයේ කිසිම දිනක අමතක නොවේ.නැන්දා මාංශ භක්ෂකයාට එසේ දයාබර ලීලාවෙන් කතා කරන අතරම, තම ගොරෝසු ඇඟිලි, උගේ කඳ   දිගේ හෙමිහිට ඉහල පහල දිවෙව්වාය.ක්‍රමයෙන්, සත්වයා තම කඳ වටේ ඔතා ගත් අඬු ලිහිල් කර ගත් අතර, උගේ තියුනු ශබ්දයද  නැවතින.

           ඌ, තම අඬුවක් දිගු කර, නැන්දාගේ නහර ගැට ගැසුන, වියලි අතක් පිරි මැදීමට පටන් ගත් විට, උගුරෙන් පිටවීමට තතනන ඉකිය ගිල ගනිමින්, බලාපොරොත්තු කඩවීමෙන් උපන් ශෝකය සිත තුල දරාගෙන, හර්කියුලිස් මිදුල දෙසට වේගයෙන් ඇවිද ගියේය.