Tuesday, August 6, 2013

හෝරාවේ සිහිනය -The Dream of an Hour






                                                              මැලාඩ් මහත්මිය හදවත් රෝගයකින් පෙළෙන්නියක් වූ බැවින්, ඇගේ සැමියාගේ මරණය හැකිතාක් පරිස්සමින්, මුදු ලෙස, ඇයට පැවසීමට වග බලා ගන්නා ලදී.

අසම්පූර්ණ වැකිවලින් හා සැඟවුන ඉඟිවලින් ඇයට එය පවසනු ලැබුවේ ඇගේ සොයුරිය විසිනි.එය පවසන මොහොතේ, බ්‍රෙන්ට්ලි මැලාඩ් මහතාගේ හොඳම  මිතුරා, රිචර්ඩ්ස් ද එහි සිටියේය.පුවත් පත් කාර්යාලයට දුම්රිය අනතුර පිලිබඳ පුවත ලැබුන මොහොතේ ඔහුද එහි විය.මියගිය අයවලුන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම තිබූ බ්‍රෙන්ට්ලි මැලාඩ් ගේ නම දු‍ටුවේ ඔහුය.තවත් විදුලි පුවතක් යවා මරණය ගැන සැක හැර දැනගත් ඔහු අප්‍රවේසම්කාරී, අසංවේදී වෙනත් මිතුරෙකු එම තොරතුර දැනුම් දීමට පෙර ඔහුම එය දැනුම් දීමට යුහුසුළු විය.


එම පුවත ඇසූ විට මැලාඩ් මහත්මිය, අනෙක් බොහෝ කාන්තාවන් මෙන් වික්ශිප්තව, එම පුවතෙන් දනවන දේ වටහා ගත් නොහී, ගල් ගැසී බලා සිටියේ නැත.එක්වරම ඇය, තම සොයුරියගේ දෑතට වැටී, වැළපීමට පටන් ගති.සෝ සුසුම් කුණා‍ටුව පහව ගිය පසු කිසිවකුටත් තමා පසුපස ඒමට ඉඩ නොදී ඇය තනිව කාමරයට පිවිසුනාය.
                 එහි, පිටට විවර වූ ජනේලයට මුහුණ ලා තිබූ, සැප පහසු සැටියේ වැතිරුන ඇයට, තම සිරුරේ මුළු ජීවය සිඳී ගිය බවත්, එය ඇගේ ආත්මය දක්වා ආක්‍රමණය කරන බවත් දැනිණි.

        තම නිවස ඉදිරිපිට බිම් කඩේ වසත් කල ජීවයෙන් උතුරා ගිය තුරු මුදුන් ඇගේ නෙත් ගැටිණි.වැස්සේ ඉමිහිරි සුවඳ වා තලයේ මුසු වී තිබිණි. පහල වීදියේ වෙලෙන්දෙක් බඩු අලෙවි කරමින් සිටියේය.ඇතින් යමෙක් ගයන ගීයක රාවය යාන්තමට සවන් මුසු විය. පොල්කිච්චන් ‍රැළක් කිචි බිචි ගාමින් පරාලයේ වැසූහ.බටහිරින් පැවූ වැහි වලා අතරින් නිල් අහස ඇයට  දෘශ්‍යමාන වන්නට විය.දිස්විය.

  සැටියේ හිස තබා ගත් ඇය නොසෙල්වී ඉදිරිය බලා සිටියාය.ඇඬීමෙන් හොඳටම හෙම්බත් වූ දරුවෙකු නින්දේ දි ඉකි ගසන්නා සේ, සුසුමන් සමග අතරින් පතර ඉකියක්ද ඉබේම ඇගේ මුවින් පිට විය. 


 ඇය තරුණය.එක්තරා අන්දමක සවිමත් බවක් හා ස්වයං විනයක් පිළිබිඹු කරන පැහැපත්, නිසල වතක් ඇයට හිමිව තිබිණ.නමුත් දැන්, ඒ  දෙනෙත්වල තිබුනේ අහසේ  දුර ඉසව්වකට නිශ්චිතව යොමුවී තිබූ අඳුරු හිස් බැල්මකි. එය අතීතය මෙනෙහි කරන්නක් නොව, අනාගතය කුමක් වේ දැයි නොදන්නා කෙනෙකුට  ඇතිවෙන බිය හා තිගැස්ම කැටි කරගත් හැඟීමකි.

                       ඇය හෙමිහිට තමා  වෙතට එමින් පවතින සිතුවිල්ලකට අවදි වෙමින් සිටියාය.ඇය බියෙනි. නමුත්, ඒ සිතිවිල්ල කුමක්ද කියා නිසැකවම ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ඇයට නොවීය.එය එතරම්ම සියුම් සිතිවිල්ලකි.එය නිල් ගුවනේ සිට නාදයන්, ගන්ධයන් හා පැහැයන් පසු කරමින් ඇය වෙත කෙමෙන් පැමිණෙමින් සිටියේය.
                              ඇගේ ලැම වේගයෙන් උස් පහත් විය.ඇගේ චිත්ත සන්තානය  තමා වෙතට ලඟා වෙන ඒ හැඟීම, හඳුනා ගැනීමට උත්සාහ දැරීය.
                     එය පළවා හැරීමට හෝ පිලිගැනීමට තරම් සවියක් ඇයට නොවීය.ඇගේ සිහින්, සියුමැලි, කුඩා දෑත් මෙන්ම ඇගේ සිතද ඒ ලඟා වෙන මනෝ භාවයන් පළවා හැරීමට අපොහොසත් විය.
                   උත්සාහය නිෂ්ඵල බව දැන ගත් පසු ඇය ඒවාට රිසි සේ, මනස තුල සැරි සැරීමට ඉඩ හැරියාය.සිහින් කෙඳිරිලි හඬක්, මඳක් විවර වූ තොල්වලින් පිට විය. ඇය මුදුව, පුන පුනා එය උච්චාරණය  කළාය.
                   " මම දැන් නිදහස්.  මම දැන් නිදහස්.  ........නිදහස්.  .........නිදහස්. "

             හිස් බැල්ම හා බියපත් පෙනුම ඇගේ නෙතු අගින් පලා ගියේය. ඒවා උද්‍යෝගයෙන් හා දීප්තියෙන් ජ්වලිත විය.නාඩි වැටීම වේගවත් විය.උනුසුම් රුධිරය  සෑම අඟලක්ම ලිහිල් කරමින් මුලු සිරුර පුරා දිව ගියේය.

                 ඇගේ මනස නිකුත් කල නිරවුල් උපදෙස් හමුවේ, තමා  මේ මොහොතේ   අත් විඳින්නේ, බිරිඳක නොසිතිය යුතු ආකාරයේ අදමි‍ටු සතුටක් දැයි   සිතීමට ඇයට ඇවැසි නොවීය.

        කෙසේ නමුත්, ඇයට අදරින් සැළකූ දෑත්, මරණයේ සළකුනින් එකට බැඳී තිබෙනු දකින විට, තමා දෙස සැමදා සෙනෙහසින් බැලූ මුව අළු පැහැ ගැන්වී, නිසොල්මනේ තිබෙනු දකින විට තමා නැවත වැළපෙන බව ඇය දත්තාය.
            නමුත්, ඒ වේදනාකාරී   අමිහිරි මොහොතෙන් පසු තමා ඉදිරියේ දිග ඇරෙන, තමන්ටම පමණක්  උරුම වූ ,රිසි සේ ගතකළ හැකි වසර ගනනාවක් ඇය මනසින්  ආවර්ජනා කළාය. තම දෑත් දිගු කර අදරින් ඒ කාලය වැළඳ ගත්තාය.
         ඒ කාලය අතරතුර, ඇය අන් කිසිවෙකුත් වෙනුවෙන් නොව, තමා වෙනුවෙන්ම ජීවත් වනු ඇති. චේතනාව යහපත් හෝ අයහපත් වුවත්, අපරාධයක් ලෙස ඇය සැලකූ, තමා ගන්නා තීරණ, තම සමග වෙසෙන අනෙක් සහෘර්දයා මත බලෙන් පැටවීමට අයිතියක් ඇතැයි සිතන ගැහැනුන් ගේ හා මිනිසුන් ගේ සිතුම් පැතුම් තව දුරටත් ඇයට අදාල නොවනු ඇති!

            ඔවුන්ගේ විවාහ දිවියේදී ඇය ඔහුට ආලය කළාය. නමුත් එසේ නොවූ අවස්ථා ඊට වඩා බොහෝ වැඩි විය.මේ මොහොතේ, තමාගේ මුළු සිරුරම වෙලාගත් ඒ  අතිශය ප්‍රබල හැඟීම ඉදිරියේ,සසඳන  කල, ලොව සදා නොවිසඳුන අභිරහසක් සේ සැලකෙන මේ ආලය, කවර නම් හැඟීමක්ද?

                  "නිදහස්. මම දැන් නිදහස්. සිතෙනුත් ගතිනුත් නිදහස්. " ඇය උනුසුම් හැඟීමකින් තොල මතුළාය.

මේ අතර ඇගේ සොයුරිය, ජොසපින්, වැසුන දොරේ, යතුරු සිදුරට මුව තබාගෙන ඇයව ඇතුලට ගන්නා ලෙස, අයැදිමින් සිටියාය. 
    "ලුයිස්, මේ දොර අරින්න. ඔයා අසනීප වේවි.දෙය්යන්ගෙ නාමෙට දොර අරින්න. "

               " අහකට යන්න. මට ප්‍රශ්නයක් නෑ. මම හොඳින්. "

                               නැත. ඇය තම ජීවිතයේ උපරිම රස මිහිර, විවර වූ කවුලුවෙන් දිස් වූ සොඳුරු වටපිටාවෙන් උකහා ගනිමින් සිටියාය.
                                   තමා ඉදිරියේ ඇති සදා සොඳුරු දිවිය ගැන ඇගේ සිතිවිලි, සුරඟන සිහින දැක්කේය.වසන්තය, ගිම්හානය ඇතුලු දවසේ හැම තත්පරයක් ම ඇයටම  වෙන් වූ කාලය.ඇය තම දිවිය වඩාත් දිගු වේවා යි ඉක්මන් පැතුමක් පැතුවාය. 
                    ජීවිතය කොතරම් දිගු වනු ඇතිද කියා ගැහෙන හදින් සිහිපත් කලේ ඊයේ බව හදිසියේ ඇයට සිහි විය.

              තම සොයුරිය ගේ හඬ නැවත ඇයට ඇසිණ.

 ඇගේ නෙත් දිලිසිණි.ජයග්‍රහණයක සේයාවක් ඒවා තුල සැඟවී ගියේය.සටන් බිම ජය ගත් ‍රැජනක සේ ඇය තම සොයුරිය අසලට සෙමෙන් පා තබා ආවාය.සොයුරිය ගේ ඉඟට අත දමා ගත් පසු, දෙදෙනාම හිණි පෙල බැස්සහ. එහි පාමුල රිචඩ්ස් බලා සිටියේය.

          කවුදෝ ඉදිරි පස දොර, යතුරකින් අරිනවා ඔවුනට ඇසිණි.ඇරුන දොරෙන් ඇතුළට ආවේ  අන් කිසිවෙක් නොව බ්‍රෙන්ට්ලි මැලාඩ් ය.

                      කුඩා සූට්කේසයක් හා කුඩයක් අතැතිව විඩාබර මුහුනින් ඔහු කාමරයට පා තැබීය.

                 අනතුර සිදුවන විට, ඉන් බොහෝ දුර බැහැර පෙදෙසක සිටි නිසා, එවන් අනතුරක් ගැන හාංකවිසියක් වත් ඔහු නොදැන සිටියේය. ජොසපින් ගේ, තියුණු, හද පසාරු කරන තරම් වූ ස්වරයකින් කැ ගැසීමත්, රිචඩ්ස්, තම සිරුරෙන්, බිරිඳ ගේ දෘශ්‍ය පථය අවහිර කරනු ලැබීමත්, ඔහු මවිතයකින් හා වික්ශිප්ත බවකින් කාමරය මැද සිටගෙන බලා සිටියේය.

            නමුත්, ඒ වන විටත් රිචඩ්ස් ප්‍රමාද වැඩිය. වෛද්‍යවරු කැඳ වන විටත් ඇය මිය ගොස් සිටියාය. 

              එය අධික සොම්නස නිසා සිදු වූවක් බව ඔවුහු තිරණය කළහ.


පසු වදන


Kate Chopin ගේ  1894 දී ලියවුන  The Dream of an Hour නම් කෙටි කතාවේ පරිවර්තනයකි.


මිසිස් මැලාඩ් ගැන ඔබට කියන්නට ඇත්තේ මොනවාද?