පන් නෙලන්නීය, වෙලට බැස මිත්තණිය
වැතිර ඉඳිමි මා ගං ඉවුරේ.
ඉදී බෙරි වී පැලුණ කිරල ගෙඩිවල සුවඳ
කූරු ගායි මගේ නාස් පුඩු.
ඉව කරමින් ඒ මිහිරි සුවඳ
ඇවිද යමි ගං ඉවුර දිගේ
බලමින් දෙපස, සොයමින් කිරල ගෙඩි
මඩ තුල වැතිරුණ.
කඩොලාන මුල් අතර
ඉස්සො පැටව්
නටති, පනිති, දඟලති.
පෙනෙයි සේයාවක් පැහැදිලි ගං දියේ.
දිගු නොවූ හිසකේ, බෝරිච්චි ගවුමක්.
කුතුහළයෙන් වෙලුන ඇස් ඇති
කෙලි පොඩ්ඩියක්.
සවනත වැකෙයි මිත්තණියගේ කට හඬ.
" කෙල්ලේ, මෙහෙ වරෙන්."
මෑත් වී ගං තෙරෙන්
රුං ගා දුවමි ඇය වෙතට.
මිටි බඳියි නෙලූ පන් ඈ.
විසිර ඇති නියර මත.
බලා සිටිමි නොඉවසිල්ලෙන්,
ඔසවන තුරු පන් මිටියක්
මා හිස මතට.
ගනිමි එය හිස මතට, පාත් වී හිමිහිට.
විඳිමින් කොමල පහස,
වළාතර සැඟවෙන සුමුදු හිරුගේ.
පා තබා සීරුවෙන්, ඇවිද යමි මා
කිරුළ හිසින් ගත් රැජණක සේ.
ඕනෑම මොහොතක චිත්‍රයක් ඇඳ දෙන්න කියා ඉල්ලූ විට හැකි විගස එය කරදෙන වසන්තා ප්‍රනාන්දු ගුරු මහත්මියට මගේ ස්තූතිය පිරි නමමි.
(කවියක් ලියන්න ගත් උත්සාහය සාර්තක වුනාදැයි නොදනිමි. නමුත් මේ අතීත අත්දැකීම එලියට දැමීමට වෙන පහසු ක්‍රමයක් සොයා ගත නොහැකි විය.)